2024 - 2025 වර්ෂයේ පවත්වන ලද අ පො ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හී එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම ඉසෙඩ් අගයන් එලෙස නිකුත් කර ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළේ.

2024 වසරේ අපොස උසස් පෙළ විභාගය වෙනුවෙන් සිසුන් දෙලක්ෂ අසූ පන්දහස් දෙසිය අසූ නව දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සිසුන් එක් ලක්ෂ හැත්තෑ හත් දහස් නවසිය විසි දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සපුරනු ලැබුවා.

ඒ අතරින් සිසුන් 90,670 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කර ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ.

එලෙස අයදුම් කර ඇති සිසුන් අතරින් හතළිස් දෙදහස් එකසිය හැත්තෑ දෙදෙනෙකු විශ්වවිද්‍යාලය සඳහා තෝරා ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා.

ඒ අනුව අදාළ සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සිය නිල වෙබ් අඩවියෙන් හෝ කොමිෂන් සභාව ඇමතීමෙන් දැනගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.