ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක, කළමණාකාර සහකාර වරයෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු දුෂණ වරද මත අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්යය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මඟින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබාදීම තුළින් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතු සහගත ලාභයක් ලබා ගැනීම මෙන් ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සුරසිංහ විජේරත්න, එම රෝහලේ කළමනාකරණ සහකාරවරයෙකු වන කැකුලන්දල ලියනගේ ඉන්දික සහ ඉහත වෛද්‍යවරිය අනීතිකව පවත්වා ගෙන ගිය පුද්ගලික ආයතනයක සේවය කළ කඩවත ප්‍රදේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනායි.

මෙහි දී EVD යන අයිතමය 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණ වී ඇත අතර, එහි සාමාන්‍ය වර්තමාන වෙළඳ පොළ මිල රු.46,500/- ක් පමණ වනවා.

අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශ්වයන් මගින් රෝගීන් මෙම අයිතමය ලබා ගැනීමේ දී රු. 120,000/- සිට රු.250,000/- පමණ වන වටිනාකම් ඒ සඳහා දැරීමට සිදු වී තිබෙනවා.

මේ වන විට මෙලෙස ශල්‍ය කර්මයන්ට භාජනය වූ 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර, එයින් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවසා සිටියේ.

එම ශල්‍ය කර්ම වලට භාජනය වූ ඉහත පිරිසෙන් සැලකිය යුතු රෝගීන් පිරිසක් මිය ගොස් ද ඇති බවත් එම ප්‍රකාශ සටහන් කරගත් පිරිසට අදාළව (රෝගීන්ට) රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් සිදු වී ඇති බවත් එම විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.