ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) සමාරම්භය, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී සිදුකෙරුණා. දෙරටේ නාවික හමුදා අතර මෙහෙයුම් ඒකාබද්ධතාවය වැඩිදියුණු කිරීම සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි නව දැනුම හා හැකියාවන් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම අභ්‍යාසය වරාය අධියර සහ මුහුදු අධියර වශයෙන් අධියර දෙකකින් සමන්විත වනවා. SLINEX – 25 අභ්‍යාස සඳහා ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් Tanker වර්ගයේ ‘INS Jyoti’ හා Destroyer වර්ගයේ ‘INS Rana’ යන යුද නෞකා ද්විත්වය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු හා සයුර යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා සහභාගි වනවා. ඒ අනුව මෙම අභ්‍යාසයේ වරාය අධියර අගෝස්තු මස 14 සිට 16 දින දක්වා කොළඹ වරාය පරිශ්‍රයේදීත් එහි මුහුදු අධියර අගෝස්තු මස 17 සහ 18 දෙදින ලංකාවට බටහිරින් වු මුහුදු තීරයේදීත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහි වරාය අධියරේදී මෙම අභ්‍යාසයට අදාළව පණිවිඩ හුවමාරු ක්‍රම හා ආරක්‍ෂක ක්‍රමවේද පිළිබඳව මෙහෙයුම් කණ්ඩායම් දැනුවත් කිරීම හා දැනුම හුවමාරු කරගැනීම සිදුකෙරෙණ අතර පුත්තලම ග‍‍ඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළඝණ මූලස්ථානයේදි මානුෂීය ආධාර හා ආපදා සහන පුහුණු සැසියක් පැවැත්වනවා. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙණ ගුවන් සේවා සැපයීම සම්බන්ධ මූලික පුහුණුවක්ද වරාය අධි‍යරේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහි මුහුදු අධියරේදී නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරීක්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාස මුහුදේදී නෞකා අතර විදුලි ආලෝක දැල්වීම මඟින් පණිවිඩ හුවමාරුව අවි හැසිරවීමේ අභ්‍යාස මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව සහ මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම සඳහා නෞකා සූදානම් කිරීම (Abeam/ Astern fuelling approaches) ඇතුළු නාවික අභ්‍යාස සිදුකිරීමට නියමිතව ඇත. ඉන්දීය සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප‍වන ප්‍රධාන පාර්ශ්ව කරුවන් ලෙස එම සාගර කලාපයේ සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා බලපානු ලබන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු නව ප්‍රවනතා සඳහා සාමූහික ප්‍රවේශයකින් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය සහයෝගීතාවය සහ උපායශීලී අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමේ අරමුණින්, මෙම ශ්‍රී ලංකා ඉන්දියා ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය ප්‍රථම වරට 2005 වර්ෂයේ කොළඹදී ආරම්භ වි තිබෙනවා. එතැන් සිට ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම අභ්‍යාස මාලාවේ දොලොස් වැනි අදියර මෙලෙස අද (2025 අගෝස්තු 14) කොළඹදී ආරම්භ විය. තවද, SLINEX - 25 අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ‘INS Jyoti’, ‘INS Rana’ ශ්‍රී ලංකා නෞකා විජයබාහු සහ ශ්‍රී ලංකා නෞකා සයුර යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ඇතුළු මෙහෙයුම් කාර්යය මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.