Published
ඉන්දියාවට එරෙහිව අවසන් පන්දුව දක්වාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තියුණු තරඟයක් ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා. දෙරට අතර පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එකවෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති අවසන් තරඟය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 202ක් රැස් කළා. ජයග්‍රාහී ලකුණු 203ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ද නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 202ක් රැස් කළා. දෙපිලම ලකුණු 202 බැගින් රැස් කිරීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී රැස් කළේ ලකුණු 02ක් පමණයි. ඊට පිළිතුරු ලෙස සුපිරි පන්දු වාරයේ පළමු පන්දුවේදීම ලකුණු 03ක් රැස් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. ඔහු පන්දු 58කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 107ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 06ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් වුණා.




