2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ දී පැවැත් වුණා.

එම සම්මාන ප්‍රධානය කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් පසුගිය වසරේ දී ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

එහිදී කමිඳු මෙන්ඩිස් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගත් අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තා.

එමෙන්ම පසුගිය වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය ජනිත් ලියනගේට හිමි වුණා.

2024 වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන දිනා ගනිද්දී, වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මා දිනාගත්තේ ප්‍රභාත් ජයසූරියයි.

ටෙස්ට් පිටියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා එහිදී සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම එක්දින පිටියේ දක්ෂතම පිතිකරු ලෙස පැතුම් නිස්සංක තේරී පත්වූ අතර දක්ෂතම පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග සම්මාන දිනාගත්තා.

එක්දින පිටියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස මෙවර ක්‍රිකට් සම්මාන උළෙලේ දී තේරී පත් වුණේ චරිත් අසලංකයි.

එමෙන්ම විස්සයි විස්ස පිටියේ දක්ෂතම පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් සම්මානයට පත්‍ර වෙද්දී විස්සයි විස්ස පිටියේ දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විතවයම වනිඳු හසරංග විසින් හිමිකර ගැනීම විශේෂත්වයක්.

මේ අතර වසරේ එක්දින පිටියේ දක්ෂම පිතිකාරිනියට හිමි සම්මානය සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවට හිමි සම්මානය නායිකා චමරි අතපත්තු හිමිකර ගනිද්දී කවීෂා දිල්හාරි එක්දින පිටියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වුණා.

කාන්තා විස්සයි විස්ස පිටියේ පසුගිය වසරේ දක්ෂම පිතිකාරිනිය, පන්දු යවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවට හිමි සම්මාන ත්‍රිත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් එහිදී දිනාගත්තා.