ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාදීකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්යක්ෂ යන අය නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වග උත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
එම ලිපිය තුළින් වගඋත්තරකාර සභාපති වරයා ශ්‍රී ලංකාව තුළ සමරසී ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාවය පළ කර තිබෙන බව පෙත්සම්කරුවන් චෝදනා කළා.
මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතුවූ මහජන විරෝධය මෙන්ම මහා නා හිමිවරු සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය පවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටියා.
ඊට අමතරව විදේශ අමාත්‍යවරයාද එම ප්‍රකාශයම සිදුකළ බවත් වෙච්ච මේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාල ලිපිය නිකුත් කර ඇති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්රතිපාදනද උල්ලංඝනය කිරීම සිදුවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සංකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව ශ්‍රී ලංකා තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වග උත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති වරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.




