2025 ලෝක රූ රැජින තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයින් වශයෙන් අපට මහත් ආඩම්බරයක් වන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

අනුදි ගුණසේකරගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගේ අවධානය මව්බිම වෙත යොමු කරවීමට හේතුවක් වූ බවයි අග්‍රාමාත්‍යවරිය එම සටහනේ දක්වා ඇත්තේ.

අනුදි ගුණසේකරගේ ඉදිරි ගමනට සිය සුබ පැතුම් එක් කරන බවද අග්‍රාමාත්‍යවරිය එහි සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර වේදිකාවක ගෞරවාන්විතව සහ සාඩම්බරයෙන් යුතුව ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිළිබඳව ස්තූතිය පිරිනමන බවද අග්‍රාමාත්‍යවරිය එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජිණ තරඟාවලියට එක්වූ අනුදි ගුණසේකර, තරඟාවලිය පුරා සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ මෙම තරඟාවලියේදී ඇය ප්‍රදර්ශනය කළ සුවිශේෂී හැකියාවන් හේතුවෙන්.

තරඟාවලියේ මුල් අදියරේදී ඇය ඉදිරිපත් කළ කතාවක් ධම්මපදයේ පාඨයක් ඇසුරෙන් ආරම්භ කිරීම මෙවර තරඟාවලියේ සුවිශේෂී අවස්ථාවක් ලෙසයි බොහෝ විචාරකයින් පෙන්වා දුන්නේ.

72 වන වරට පැවැත්වූ ලෝක රූ රැජිණ තරඟාවලියේ කිරුළු පැළඳීමට සමත් වුණේ තායිලන්තය නියෝජනය කරමින් සහභාගී වූ ඔපල් සුචාටා චුංශ්‍රී තරුණියයි.