ප්‍රංශයේ පැවති “හෙයාර් වර්ල්ඩ්” ලෝක ශූරතා තරගාවලියේ නිර්මාණශීලීම මනාලියන් හැඩ ගැන්වීමේ අංශයේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකාවේ කායල්විලී ජයප්‍රකාශ් මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. එම තරඟාවලිය පසුගිය 14 වනදා සිට 15 වනදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත් වුණා. ඒ, රටවල් 64ක නිර්මාණ ශිල්පී තරඟකරුවන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්. එම තරගාවලියේ ප්‍රධානතම තරඟ කොන්දේසිය ලෙස දක්වා තිබුණේ විනාඩි 35ක් වැනි කෙටි කාලයක් තුළ විනිශ්චයකරුවන්ගේ අධීක්ෂණය යටතේ වඩාත්ම නිර්මාණශීලී ආකාරයට මනාලිය හැඩගැන්වීම කළ යුතු වීමයි. එම තරඟාවලියේ රිදී පදක්කම ජයග්‍රහණය කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කායල්විලී ජයප්‍රකාශ් මහත්මිය පිළිගැනීම සඳහා ඇයගේ පවුලේ සාමාජිකයන්, රූපලාවන්‍ය ශිල්පිනියන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.