පුහුණුවීම්වලදී සිය අඩුපාඩු මඟහරවා ගැනීම හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරඟාවලියේදී ලකුණු අතරට පිවිසීමට තමන්ට හැකි වූ බව පැතුම් නිස්සංක පවසනවා.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ තවත් ප්‍රශ්න කිහිපයකට පැතුම් නිස්සංක මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක් සහ ලකුණු 78කින් තරගය ජය ගත්තා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 133ක් පමණයි.

බංග්ලාදේශයේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 26ක්. සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ අනුව ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් දවාගනු ලැබුවා.

නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස් කළා.

පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 158ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 19ක් ඇතුළත් වුණා.

ලකුණු 93ක් රැස් කරගෙන සිටියදී දිනේශ් චන්දිමාල් දැවී ගියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 84යි. ලහිරු උදාර ලකුණු 40ක් රැස් කළා.

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරග දෙකේදීම දක්ෂතා දැක්වූ පැතුම් නිස්සංක දෙවන තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දිනාගනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජය හේතුවෙන් නජ්මුල් හොසේන් සැන්ටෝ බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

තමන් එම තීරණය ගනු ලැබුවේ සිය කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් බවයි ඔහු පවසන්නේ.

නජ්මුල් හොසේන් සැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායමට ටෙස්ට් තරඟ 14කදී නායකත්වය ලබා දී තිබෙනවා.

ඔහුගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ජයග්‍රහණය කර ඇති ටෙස්ට් තරඟ සංඛ්‍යාව 04ක්.

මේ අතර දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන දෙවනදා දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.