ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඒ. එච්.එම්.ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා. මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලාංකිකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙන්වා දුන්නා. තායිලන්තයේ ක්‍රියාත්මක වන "විදේශ වෙළඳ ව්‍යාපාර පනත" යටතේ එරට ඇතැම් ව්‍යාපාරික ක්ෂේත්‍රවල විදේශීය පුද්ගලයින් නිරතවීම තහනම් කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා. නිදසුනක් ලෙස තායිලන්තයේ ධීවර, නීති වෘත්තිය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු වෘත්තිය වැනි වැනි ක්ෂේත්‍ර වලට සම්බන්ධ රැකියා වල විදේශීය පුද්ගලයින් නිරත වීම තහනම් කර ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් තායිලන්තයේ සිටින පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට පැමිණ ධීවර කර්මාන්තයේ නිරත වීමට හැකියාව ලැබුණත් ශ්‍රී ලාංකිකයකුට තායිලන්තයට ගොස් එම කර්මාන්තයේ නිරත වීමට තිබෙන අවකාශය අහිමි වන බවත් සඳහන් කළා. මේ තුළින් ශ්‍රී ලාංකිකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන අතර ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා චෝදනා කළා. ඊට අමතරව මේ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරී භාවය උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ කනිෂ්ක විතාරන මහතා මෙම වෙළෙඳ ගිවිසුම තුළින් ඇතැම් භාණ්ඩ හා සේවාවන් සඳහා බදු අඩුකර තිබෙන බව පෙන්වා දුන්නා. බදු අඩු කිරීම යනු රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ කටයුත්තක් බව පෙන්වා දුන් නීතිඥවරයා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මේ ආකාරයේ බදු සම්බන්ධයෙන් තීන්දු ගැනීමට විධායකයට බලයක් නොමැති බවත් සඳහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙම ගිවිසුම හරහා ඇතැම් අපද්‍රව්‍ය මෙරටට ළඟාවීමේ ඉඩකඩක් පවතින බවට අනතුරු අඟවා සිටියා. මෙම ගිවිසුමේ පවතින ප්‍රතිපාදන උපයෝගී කරගෙන විදේශීය රටකට වුවද තායිලන්තය හරහා මෙම ගිවිසුමේ ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් තාක්ෂණික, සෞඛ්‍ය, මෙන්ම කාර්මික වැනි අපද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළට පහසුවෙන් රැගෙන ඒමට හැකියාව ලැබෙන බවත් මේ හරහා අවසානයේදී ශ්‍රී ලංකාව කැලිකසල බැහැර කරන ස්ථානයක් බවට පත්වීමේ අනතුරක් පවතින බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. මෙහිදී අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ගිවිසුම හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් නීතිඥවරයා මෙම ගිවිසුම ක්‍රියාත්මක වූහොත් මේ හරහා මෙරට ජනතාවට ආර්ථික වශයෙන් දැඩි අවාසියක් සිදුවන බවත් එය ජනතාවට අහිතකර ලෙස බලපාන බවයි. මේ හරහා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගිවිසුම පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා. කෙසේ වෙතත් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි තීන්දු තීරණ ගැනීමට නියමිතව තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.