Published
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ එවක පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම්. ප්‍රේමතිලක යන මහත්වරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.
මෙම පෙත්සම් අද මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුනා.
එහිදී පෙත්සංකාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ නොවැම්බර් මස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් දින හතරකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තම සේවා දායකයාව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පුද්ගලික සහකරුවකු වශයෙන් මාරු කර යැවූ බව චෝදනා කළා.
එම අවස්ථාව වන විට මහත් ආන්දෝලනයකට තුඩුදී තිබූ ලසන්ත වික්‍රම තුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම, පෞද්ගල ජයන්ත පැහැරගෙන යාම, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, දිවයින කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම වැනි දැඩි මතභේදයට තුඩුදුන් අපරාධ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ඔහු විමර්ශනය කරමින් සිටි බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව 2020 වසරේ ජනවාරි මස 07 වනදා පෙත්සංකරුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කෙරුනු බවත් එම වසරේ ජුලි මස 31 වනදා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කළ බවත් නීතිඥවරයා පැවසුවා.
මාස දහයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සිය සේවා දායකයා පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත මුදා හැරුණු බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි සැකපිට තම සේවා දායකයා අත්අඩංගුවට ගනු ලැබුවත්
ඊට අදාළව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට වග උත්තර කරුවන් කටයුතු නොකළ බවත් මෙම අත් අඩංගුවට ගැනීම හුදු දේශපාලනික හේතුන් මත සිදු වූ ද්වේශ සහගත ක්‍රියාවක් බවත් නීතිඥවරයා තර්ක කළා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව පෙත්සම් ඉදිරිපත් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ ප්‍රේමතිලක යන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ෂෙහාන් ද සිල්වා සහ හෆිල් ෆාරිස් යන නීතිඥවරු අධිකරණය ඔහු මේ කරුණු දක්වමින් තම සේවාදායකයින් අත් අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.
තම සේවාදායකයින් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා ශානි අබේසේකරට එරෙහිව සාක්ෂි ලබාදෙන ලෙස එහි නිලධාරීන් සිය සේවාදායකයින්ට බලපෑම් සිදුකර ඇති බවත් ඔවුන් එය ඉටුකිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් පත් කිරීමට කටයුතු කළ බවත් එම නීතිඥවරු චෝදනා කර සිටියා.
ඉන් අනතුරු අදාල පෙත්සම් වල වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා සහ එහි පොලිස් පරීක්ෂක නිශාන්ත යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අදාළ නඩුවේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවූ බව සඳහන් කළා.
මෙම පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණයමය පියවරයන් අනුගමනය කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් කළ නියෝග අනුව බවත් ඔහු පෙන්වා දුන්නා.
ඒ අනුව පෙත්සංකරුවන්ව වග උත්තරකරුවන් විසින් ද්වේශ සහගතව අත්අඩංගුවට ගත් බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් එල්ල කරන චෝදනා පදනම් විරහිත බව සඳහන් කළ නීතිඥවරයා පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම දේශපාලන උවමනාවන් මත සිදුවී ඇති බවට චෝදනා කළත් ඒ බව ඔප්පු කිරීමට ඉවහල් වන කරුණු පෙත්සම්කරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු නොමැති බවත් සඳහන් කර සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සංකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයට නීතිපතිවරයා සම්බන්ධ නොවූ බව පැවසුවා.
කෙසේ වෙතත් අවසානයේදී ප්‍රමාණවත් නඩු නිමිත්තක් අනාවරණය නොවීම නිසා මොවුන්ව මුදා හරින ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දුන් බවත් ඔහු සඳහන් කර සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(1) ව්‍යවස්ථාවන්හි මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් උල්ලංඝනය වී තිබේදැයි විභාගයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළා.
ඒ අනුව මෙම පෙත්සම් වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 12 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 12 වනදාට පෙර ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශව කරුවන්ට නියම කළා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 14 වනදා පැවැත්වීමටද දින නියම වුණා



