අද දිනයේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පෙරවරු 09: 30ට විභාග මධ්‍යස්ථාන 2,788කදී ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වුණා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 20 වන දිනට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි කොමසාරිස් ජනරාල් ඒ කේ එම් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.

මේ අතර 2025 වර්ෂයේ උසස්පෙළ විභාගයට අදාළ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීම එළඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවයි කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇති බව ඇය පැවසුවා. මේ අතර ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් අනතුරුව විභාග ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යට මුදා හැරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ අදාළ ප්‍රශ්න පත්‍රය විභාගය ලියා අවසන් වීමෙන් පසුව බස්නාහිර පළාතේ විභාග මධ්‍යස්ථානයකින් මෙම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවට හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම අදාළ ප්‍රශ්න පත්‍රය විභාග ශාලාවෙන් ඡායාරූපගත කර සමාජ මාධ්‍යයට මුදා හැරි නිලධාරියාද සිදු කළ මූලික විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවටයි විභාග දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.