ශීත ඍතුව වෙනුවෙන් පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) ඊයේ(23) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයට (Smart Wings ) අයත් 3.ඉසෙඩ්.- 7648 දරන මෙම ගුවන් යානය ඊයේ(23) රාත්‍රී 10.10 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම පළමු ගුවන් ගමන සදහා බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 180 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 09 දෙනෙකු පැමිණ සිටියා.

මින් පසුව මෙම පෝලන්ත ස්මාර්ට් වින්ග්ස් ගුවන් යානා සතියකට එක් වරක්, එනම් සෑම අගහරුවාදා දිනකම, එළඹෙන 2026 වසරේ මාර්තු මස 15 දින තෙක්, පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.

මෙම ගුවන් යානා මගින් පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ තීර, සීගිරිය, දඹුල්ල, මහනුවර, නුවරඑළිය සහ යාළ යන ප්‍රදේශ වල සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මෙසේ පැමිණි පෝලන්ත සංචාරයකයන් පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ජෙට් වින්ග් සංචාරක සමාගමේ නිලධාරීන් විසින් උත්කර්ෂවත් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළ තුළ දී පිළිගනු ලැබුවා.