ෂොපින් බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණා.
මෙම නඩුකරයට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෝසමක් අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලබන ෂොපින් බෑග් භාවිතය අවම කිරීම සඳහා ඒ මත කිසියම් බද්දක් පැනවීමට කටයුතු කරන බවට 2024 වසරේ මාර්තු මස 28 වනදා එවක පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟතාවයක් පළ කර තිබු බව එම මෝසමේ සඳහන් කර තිබුණා.
එම එකඟතාවය අනුව වගඋත්තරකරුවන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම මෝසම ඉදිරිපත් කිරීමට සිදුවූ බවයි පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සඳහන් කළේ නොවැම්බර් මස පළමුවනදා සිට ෂොපින් මලු සඳහා කිසියම් ගාස්තුවක් අය කිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව එම දැනුම්දීමට පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් එකඟතාව පළ කළ අතර ඒ අනුව නඩු විභාගය අවසන් කිරීමට ද නියම කෙරුණා.




