අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවති G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය එකමුතුවක අවශ්‍යතාවය අවධාරණය කළේය. එමෙන්ම ඔහු පැවසුවේ ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික ආයතනවල හදිසි ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය බවයි. සංවර්ධනයට ඇති නිරන්තර තර්ජනයක් වන්නේ සාමයට බාධා කරන බහුවිධ ත්‍රස්තවාදය බව ද අමාත්‍යවරයා පැවසුවේය. ලෝකය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ඉවසීමක් හෝ අනුග්‍රහයක් නොදැක්වීම අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය. ත්‍රස්තවාදීන් අතර පුළුල් ජාලකරණයක් ඇති බැවින්, ඕනෑම පෙරමුණකින් ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන පිරිස් ඇත්ත වශයෙන්ම සමස්තයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට විශාල සේවාවක් ඉටු කරන බව ද අමාත්‍ය එස් ජයශංකර් පාකිස්තානය නම් නොකර පැවසීය.