ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව විදේශගතව සිටින ඉන්දීය ජාතිකයෙකු ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහුට ලබන මස 25 වනදාට පෙර ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2020 වසරේ පැවති එල් පී එල් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිකට් තරඟ පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් ධම්මික ප්‍රසාද් නැමති ක්‍රීඩකයෙකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කරන බව සඳහන් කර සිටියා.

මෙම විමර්ශනයට අදාළව මේ වන විට විදේශගතව සිටින ඉන්දීය ජාතිකයෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ බව දන්වා ඔහුගේ ඊමේල් ලිපිනයට සහ වට්ස්ඇප් අංකයට පණිවුඩ යොමු කර තිබුණත් ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් කළා.

ඒ අනුව එම පුද්ගලයාට දෙසැම්බර් මස 25 වනදාට පෙර ක්‍රීඩා දූෂණ වැලක්වීමේ ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් නොතීසියක් නිකුත් කරන ලෙසත් එම විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා අදාල ඉන්දීය ජාතිකයා වෙත ඉංග්‍රීසි භාෂාවෙන් නොතීසි නිකුත් කරන ලෙස නියම කළා.

මෙහිදී සැකකාර සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඩුබායි රාජ්‍යයේ සමාගමක සේවය කරන බව පැවසුවා.

ඒ අනුව ඔහු නඩු දිනවල නිසි ලෙස අධිකරණය හමුවේ පෙනී සිට තිබෙන බවත් ඒ අනුව ලබන 27 වනදාට පසුව ඔහුට විදේශගත වීමට අවසර දෙමින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලි ස්ථාවරය දෙසැම්බර් මස 01 වනදා ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන්ට නියෝග කළා.