ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබියදීත් ඊශ්‍රායලය යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා ඇත්තේ ගාසා තීරයේ සිටින ඊශ්‍රායල සොල්දාදුවන්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

එමෙන්ම මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබා දීමේ කොන්දේසි කඩ කළ බවටද හමාස් සංවිධානයට ඔහු එහිදී චෝදනා කර තිබෙනවා.

කෙසේවෙතත් හමාස් සංවිධානය පවසන්නේ තමන් ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටින බවද හමාස් සංවිධානය අවධාරණය කරනවා.

කෙසේවෙතත් ගාසා තීරයේ ඇසින් දුටුවන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ සවස ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාර මාලාවක් එල්ල වූ බවයි.

එහිදී අවම වශයෙන් පලස්තීන ජාතිකයන් නව දෙනෙකු මිය ගිය බවටද එම වාර්තාවල සඳහන්.

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල බලධාරින් එකඟතාවය පළ කළේ අමෙරිකාවේද මැදිහත් වීමෙන්.

ඒ අනුව දැන් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසා ඇත්තේ සටන් විරාමය පවතින බවට තමා විශ්වාස කරන බවයි.