සයිබර් වංචා සිදු කිරීම සදහා මෙරටට ඇතුළු වීමට තැත් කළ බවට තහවුරු වූ චීන ජාතිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මොවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.-405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඉන්පසුව මොවුන් සිය ආගමන කටයුතු සදහා නිශ්කාශන ක්‍රියාවලිය සදහා පිවිස සිටීමේදී ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර විමර්ශන සිදු කර තිබෙනවා.
කොළඹ වරාය නගරයේ පිහිටුවා ඇති සමාගමක සේවය කිරීමට පැමිණෙන බවට මොවුන් ප්‍රකාශ කරමින් මෙරටට ඇතුළු වීමට තැත් කළ මෙම චීන ජාතිකයන් මෙරට රැදී සිටිමින් රැකියා කිරීම සදහා අවශ්‍ය පූර්ව වාස වීසා ද ලබා ගෙන තිබුණා.
ඉන්පසුව එම සමාගමේ උසස් නිලධාරීවරයෙකුගෙන් මේ පිළිබද විමසීමේදී මොවුන් මෙරටට පැමිණීමේ අරමුණු සහ ඔවුන්ගේ රැකියා වල ස්වභාවය පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමට එම නිලධාරීවරයා අසමත් වී තිබෙනවා.
එසේම ඔවුන් සතුව පැවති එම සමාගම විසින් නිකුත් කර තිබූ රැකියා සදහා ඇරයුම් ලිපි වල ද එකිනෙකට වෙනස් පරස්පරතා ද දක්නට තිබෙනවා.
එමෙන්ම මොවුන් මීට පෙර සයිබර් අපරාධ වැඩි වශයෙන් පැවති කාම්බෝජයේ සහ පිලිපීනයේ සැක කටයුතු සමාගම් වල ද සේවය කර තිබුණා.
මේ කරුණු සියල්ල පිළිබද විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම චීන ජාතිකයන් 05 දෙනා ආපසු පිටුවහල් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.
Published