ඉකුත් දා පැවැති සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගය පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබෙනවා.
එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස් වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරු සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර තිබෙනවා.
නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනු කොට ඇති පෙතසම්වල පෙත්සම්කරුවන් සදහන් කර සිටින්නේ පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරය උසස් කිරීම සඳහා පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ඉකුත් 25 වනදා හතළිස් පස් දෙනෙකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කළ බවයි.
මෙම විභාගයේදී ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වූ අතර ඊට අමතරව අදාළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කළ බවත් එය හිතාමතාම කළ ක්‍රියාවක් බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
මීට පෙර අවස්ථාවලදී සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වය මත බවත් ඔවුන් සඳහන් කළා.
එහෙත් මෙම විභාගයේදී කිසිදු වෘත්තිය සුදුසු කමක් ගැන නොසලකා ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් සදහන් කළා.
මෙම විභාගයේදි විවිධ අකටයුතුකම් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පෙත්සමේ සදහන් වෙනවා.
මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ විභාගයේ ප්‍රතිඵල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.




