රුසියාව සහ යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට අපොහොසත් වුවහොත් ඊට දැඩි ලෙස මැදිහත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉදිරි සති දෙක තුළ සිදු වන්නේ කුමක්ද යන්න මත තම තීරණය රඳා පවතින බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡා සිදු නොවුනහොත් විශාල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවටයි අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ. අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ රුසියානු යුක්‍රේන නායකයින් සාම සාකච්ඡා සඳහා යොමු කිරීම සඳහා පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජෙයි ලැව්රෝ විසින් කොන්දේසි කිහිපයක් ප්‍රකාශ කර තිබුණා. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 05 දෙනා ඇතුළුව රටවල් ඇතුළත් කණ්ඩායමක් පත් කර යුක්‍රේනයේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවයි ඔහු පවසා තිබුණේ. එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් විය යුතු බවද එම කොන්දේසිවලට ඇතුළත්.