2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම, දෙවන ස්ථාන නම් නොකළ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව අද කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලවලින් බලාපොරොත්තු වන්නේ ළමුන් ජ්‍යෙෂ්ඨ ද්වීතික අංශයේ දෙවන අවදියට යොමු කරමින් උසස් පෙළ විභාගයට අවස්ථාව ලබාදීම බවයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසුවා.
සාමාන්‍ය පෙළ විභාගය අසමත් ළමුන් තම බලාපොරොත්තු අත්නොහැර දෙවන වර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සිසුන්ගෙන් ඉල්ලා සිටියේ.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සියලුම විෂයන් සඳහා ් සාමාර්ථ නවයම ගත් සිසුන් 13,392ක් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් දෙලක්ෂ තිස්හත් දහස් විසිහය දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා තිබෙනවා.
පළාත් වශයෙන් ගත් කළ ඉහළම සමත් ප්‍රතිශතයක් වාර්තා වන්නේ දකුණු පළාතේයි. එම සංඛ්‍යාව සියයට 75යි දශම 6යි 4ක්.
බස්නාහිර පළාතේ සියයට 74යි දශම 4යි 7ක්, නැගෙනහිර පළාතේ සියයට 74යි දශම 2යි 6ක් සහ මධ්‍යම පළාතේ සියයට 73යි දශම 9යි 1ක් සමත් වී තිබෙනවා.
සබරගමුව පළාතේ සියයට 73යි දශම 4යි 4ක්, ඌව පළාතේ සියයට 73යි දශම 1යි 4ක්, වයඹ පළාතේ සියයට 71යි දශම 4යි 7ක් සහ උතුරු මැද පළාතේ සියයට 70යි දශම 2යි 4ක් සමත් වී ඇති අතර අවම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ උතුරු පළාතේයි.
එම ප්‍රතිශතය සියයට 69යි දශම 8යි 6ක්.
විෂයන් ලෙස ගත් කල, ඉංග්‍රීසි විෂය සියයට 73යි දශම 8යි 2ක්, විද්‍යාව විෂය සියයට 71යි දශම 0යි 6ක් සහ ගණිතය විෂය සියයට 69යි දශම 0යි 7ක පිරිසක් සමත් වී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.
2024 – 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු සඳහා ජූලි මස 14 වනදා සිට 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට හැකි වනවා.