සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, එහි තාවකාලික සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා තෝරා පත්කර ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර එමගින් ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදුවනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීන් එක්ව සිටි බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.