සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යළි දැඩි කතාබහක් මතුවී තිබෙනවා. ඒ, විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමත් සමගයි. අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මේ පිළිබඳ චක්‍රලේඛයක් ද දැන් නිකුත් කර තිබෙනවා. කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නම් මෙම තීරණයට දක්වන්නේ දැඩි විරෝධයක්. මේ, එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා.

මෙම තීරණය හරහා වෛද්‍යවරුන් රට හැරයාම ඉහළ යා හැකි බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු පැවසුවේ දැනට විදේශගත වී සිටින වෛද්‍යවරුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබාගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරී ස්වභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම ද අදාළ චක්‍රලේඛය මඟින් සීමා කර තිබෙනවා. කෙසේවෙතත් අදාළ නව චක්‍රලේඛය සම්බන්ධයෙන් විරෝධය පළ කරන ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පැවසුවේ අදාළ විදේශීය නිවාඩු ලබාගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබාදී ඇති ප්‍රතිපාදන මෙම චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බවයි.