හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා.

ඒ අනුව ඡන්ද 11ක් හිමිකර ගත් ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතීත්වයට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා විසින් හිමිකර ගත්තා.

මේ අතර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හිමිව තිබෙනවා.

ඒ, අද පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදීයි.

වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත්වූ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළා.

අකුරණ ප්‍රාදේශීය සභාවට සභිකධුර 30ක් හිමිව තිබූ අතර, අද දින එක් අයෙකු නොපැමිණි අතර ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කර තිබෙනවා.

සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තාරික් අලී මහතා ඉදිරිපත් වූ අතර ඔහු හිමිකර ගත්තේ ඡන්ද 13ක් පමණයි.

මේ අතර පොදුජන පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18ක් හිමි කරගනිමින් අකුරණ ප්‍රාදේශීය සභාවේ උපසභාපති ධුරය සඳහා පත් වුණා. ජාතික ජන බලවේගයේ වසන්ත කුමාර මහතා හිමිකර ගනු ලැබුවේ ඡන්ද 11ක් පමණයි.

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස හිටපු සභාපති විජේසිරි ඒකනායක මහතා මෙවරත් තේරී පත් වී තිබෙනවා.

ඔහුට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු සෙසු පක්ෂවල ඡන්ද 25ක් හිමි වුණා.

ජාතික ජන බලවේගයෙන් ඒ සඳහා යෝජනාවූ ධම්මික ජයලත් මහතාට ලැබුණේ ඡන්ද 21ක් පමණයි.

උපසභාපතිවරයා තෝරා පත්කර ගැණුනේ ද සභාපති තෝරා පත්කරගත් ආකාරයෙන්ම විවෘත ඡන්දයකින්.

එහිදී එම ඡන්ද සංඛ්‍යාවම දිනාගැනීමට මොහොමඩ් කාදර් ඉර්ෆාන් මහතාට හැකි වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය විසින් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ අත්පත් කරගෙන සභාව පිහිටුවා තිබෙනවා.