බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් 17 දෙනෙකු ළමුන් බවයි විදෙස් මාධ්‍ය තහවුරු කළේ. කාබුල් බලා යමින් සිටි බස් රථයක්, ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් පසු ගිනිගෙන මෙම අනතුර සිදුව තිබෙනවා. බස් රථයේ සිටි සියලු දෙනා මෙන්ම අනෙක් වාහනවලින් පැමිණි දෙදෙනෙකු ද මිය ගිය පිරිසට අයත්. බස් රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල අනතුරට හේතුව බවට සැක කෙරෙනවා. මෙලෙස මියගිය බහුතරය ඉරානයේ සිට පැමිණි ඇෆ්ගන් සංක්‍රමණිකයින් විය හැකි බවටයි පැවසෙන්නේ. 1970 සිට, මිලියන ගණනක ඇෆ්ගන් ජාතිකයින් ඉරානයට සහ පකිස්ථානයට පලා ගොස් තිබුණා. කෙසේවෙතත් ලේඛනගත නොකළ ඇෆ්ගන් ජාතිකයින්ට ස්වේච්ඡාවෙන් පිටව යාමට ඉරානය ඉකුත් දා අවසාන නිවේදනයක් නිකුත් කළා. ඒ අනුවයි ඉරානයේ සිටි ඇෆ්ගන් ජාතිකයින් විශාල වශයෙන් එරටින් පිටවීම ආරම්භ කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව ජනවාරි මාසයේ සිට ඇෆ්ගන් ජාතිකයින් මිලියන 1යි දශම 5කට වැඩි පිරිසක් ඉරානයෙන් පිටව ගොස් තිබෙනවා.