Published
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉකුත් සැප්තැම්බර් මස 6 වනදා විදේශගත වීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 08 ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටි ලෙස දන්වමින් අල්ලස් කොමිසම විසින් සැප්තැම්බර් මස 6 වනදා ඔහු වෙත ලිපියක් යොමු කර තිබූ බව පැවසුවා.
ඉන් අනතුරුව නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා මාර්ගයෙන් තම සේවාදායකයා විදේශයක සිට පැමිණි පසු ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණෙන බවට තම සේවා දායකයා විසින් අල්ලස් කොමිසම දැනුවත් කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඉන් පසුව තම සේවාදායකයා විදේගතව සිට පැමිණෙන දිනය අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහුගේ භාර්යාවට සැප්තැම්බර් මස 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා අල්ලස් කොමිසම ලිපියක් යොමු කර තිබූ බවත් ඔහු පැවසුවා.
ඉන් අනතුරුව නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් තම සේවා දායකයා සැප්තැම්බර් මස 28 වනදා දිවයිනට පැමිණෙන බවත් ඉන් පසුව සැප්තැම්බර් මස 30 වනදා සහ ඔක්තෝම්බර් මස 01 වනදා ප්‍රකාශ ලබාදීමට පැමිණිය හැකි බව දැනුම් දුන් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව සැප්තැම්බර් මස 24 වනදා තමන් සේවාදායකයා විදේශගතව සිට මෙරට ගුවන්තොටුපළට පැමිණ ආගමන හා විගමන කවුළුවට යාමට පෙර අල්ලස් කොමිසම නිලධාරීන් විසින් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඔහුට ලිපියක් භාරදී තිබූ බවත් ජනාධිපති නීතිඥවරා චෝදනා කළා.
සිය සේවාදායකයා සැප්තැම්බර් මස 28 වනදා දිවයිනට පැමිණෙන බව අල්ලස් කොමිසමට දැනුම් දී තිබියදී ඔහු සැප්තැම්බර් මස 24 වනදා දිවයිනට පැමිණියේ අල්ලස් කොමිසම මගහැරීමේ අරමුණින් යැයි එම කොමිසම විසින් සිය විරෝධතා වලින් එල්ල කර තිබූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් තුමා අදහස් දක්වද්දී මනුෂ නානායක්කාර අත් අඩංගුවට ගැනීමට අනිවාර්ය හේතු තිබූ බවට කරුණු දක්වා තිබුණේ යැයි සදහන් කළා.
" ස්වාමීනී... මා විශ්වාස කරනවා විමර්ශන පිළිබඳව මාධ්‍ය සාකච්ඡා වලදී අදහස් දැක්වීම සුදුසු නැහැ කියල. මොකද විමර්ෂනයක් ගැන මාධ්‍යවලට අදහස් දක්වන්න බැහැ. " යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පෙර තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කිරීම තුළින් මෙම විමර්ශනයේ ද්වේෂ සහගත භාවය මනාව පැහැදිලි වන බවත් චෝදනා කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා තම සේවා දායකයා විමර්ශන කටයුතුවලට බාධා සිදු කර නොමැති බවත් විමර්ශන වලට සහාය වීමට සූදානම් බවත් පෙන්වා දුන්නා.
අල්ලස් කොමිසම විසින් තම සේවා දායකයා ද්වේශ සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් ඔහු අපේක්ෂිත ඇපයක් මත මුදාහරිණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2024 වසරේ මාර්තු මස 22 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් කළා.
මෙම පෙත්සම්කරුට එරෙහිව තම කොමිසම විසින් මාස තුනක විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබූ බවත් එම මාස තුනක විදේශ ගමන් තහනම් කාලය සැප්තැම්බර් මස 04 වනදා අවසන් වූ බවත් ඇය සඳහන් කළා.
එම විදේශ ගමන් තහනම අවසන් වී දින දෙක තුනක් ගතවීමට පෙර ඔහු විදේශගත වීමට කටයුතු කළේ අල්ලස් කොමිසමේ විමර්ශන මගහැරීමේ අරමුණින් බවත් ඇය චෝදනා කළා.
ඊශ්‍රායලයට රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කරන ලෙස දන්වමින් කළ දැනුම් දීමට අයදුම්කරුවන් 29714 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය හරහා අයදුම්පත් යොමු කර තිබූ බවත් ඇය සඳහන් කළා.
එහෙත් එම අයදුම්කරුවන් කිසිවකු ඊශ්‍රායල් රැකියා ලබා දීම සඳහා තෝරා නොගැනුණු අතර මෙම පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයාට හිතවත් දේශපාලන දැන හැදුනුම්කම් මත තෝරා ගත්
අයදුම්කරුවන්ගෙන් ලැයිස්තුවක් මෙම විදේශ රැකියා ලබාදීම සඳහා යොමු කෙරුණු බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය පැවසුවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය හරහා අදාළ රැකියා සඳහා අයදුම් පත් ඉදිරිපත් කළ කිසිවෙකුට මෙම රැකියා අවස්ථා හිමිවී නොමැති අතර තමන් විසින් ඉදිරිපත් කරන ලැයිස්තුවේ පුද්ගලයින්ගේ නම් ඊශ්‍රායලයේ PIBA නමැති ආයතනය වෙත යොමු කරන ලෙස එවක විදේශ රැකියා කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මෙම පෙත්සම්කරු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිලධාරීන්ට බලපෑම සිදුකර තිබූ බවත් ඇය පෙන්වා දුන්නා.
මෙම විදේශය රැකියාවට යොමු කරන පුද්ගලයින්ගේ දත්ත ඇතුළත් කිරීම් විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශයේදී සිදුවී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවිය යුතු කටයුතු අදාළ අමාත්‍යශය වෙත
ගෙනයනු ලැබුවේ කවර හේතුවක් නිසාද? යන බරපතළ ප්‍රශ්නයක් මතුවන බවත් ඇය සඳහන් කළා.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් වරයා මාධ්‍යවලට සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මතු කළ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ එම කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය මනුෂ නානායක්කාර මහතා අත් අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් දැයි අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී මතු කරනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්යක්ෂ ජෙනරාල් වරයා අදාළ කරුණු සඳහන් කර තිබූ බව කියා සිටියා.
දුෂණ විරෝධී පනත යටතේ වරෙන්තුවක් නොමැතිව පවා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය එසේ නොකොට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීමට පියවර ගෙන තිබෙන්නේ යුක්ති සහගත ආකාරයෙන් අදාළ විමර්ශන සිදුකිරීමේ අරමුණින් බවත් සඳහන් කළා.
ඒ අනුව ද්වේෂ සහගත ආකාරයට පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවත් ඇය සඳහන් කර සිටියා.
දේශපාලන ඕනෑ එපාකම් මත නුසුදුසු පුද්ගලයින් ඊශ්‍රායල රැකියා සඳහා යොමු කිරීම හේතුවෙන් එම රැකියා අවස්ථා මෙරටට නොලැබී යාමේ අවදානමක් මතුවී තිබෙන බව සඳහන් කළ සහකාර අධ්යක්ෂ ජෙනරාල් වරිය අදාල රැකියා තම දේශපාලන හිතවතුන්ගේ ලයිස්තුව අදාළ රැකියා සදහා යොමු කරන ලෙස දෙන ලෙස මෙම හිටපු අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇති බවට විමර්ශන වලින් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ඇය අවසන් වශයෙන් අධිකරණයට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඊශ්‍රායල රැකියා සඳහා විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් වූ බව සඳහන් කළා.
එම දත්ත ඊශ්‍රායලය වෙත යොමු කිරීමට සිදුවූයේ මාර්ගගත ක්රමයන් ඔස්සේ බවත් අති විශාල පිරිසක් එම දත්ත ලබාදීමට ඉදිරිපත් වීම නිසා ප්‍රමාණවත් ඉඩ පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොතිබූ හෙයින් ඒ සඳහා තම සේවා දායකයගේ අමාත්‍යාංශයේ භූමිය යොදාගැනීමට සිදුවූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 14 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කලා.




