Published
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරු රුපියල් 50000/- ක් මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉන් ඇපකරුවන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවටත් නියම කළා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කරනු ලැබුවා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුගෙන් ඉකුත් තුන්වන දා අල්ලස් කොමිසමේදී ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එම ප්‍රකාශය තුළින් මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ කොරියානු සමාගමේ අනුග්‍රහය ඇතිව විදේශ සංචාරයක නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු" සී වූ "නමැති කොරියානු සමාගමට පැවරීමේදී පාරිසරික ඇගයීම් වාර්තා යනාදිය ලබාගත යුතු බවත් එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාල කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඊට අදාළව එම සංචාරයට සහභාගි වූ මෙම සැකකරුගේ ඥාතීන් හා ධීවර වරායේ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව ඇය පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් මෙම සැකකරු තවදුරටත් ලබන 23 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා දැඩි විරෝධය පළ කළා.
ජනාධිපති නීතිඥවරය සඳහන් කළේ සිය
සේවා දායකයා අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව විදේශ සංචාරයක නිරත වූ බවට කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු විසින් එහිදී නිරතවී තිබෙන්නේ නිල සංචාරයක් බවත් පෙන්වා දුන්නා.
ලෝක ආහාර සංවිධානයේ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා සැකකරු සිය භාර්යාව සමග පමණක් මෙම සංචාරයේ නිරත වී ඇති අතර එය නිල සංචාරයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තු වෙබ් අඩවියේද ඒ පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා තිබෙන බව සඳහන් කර සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සංචාරය පිළිබඳව තොරතුරු අනාවරණය වුණේ මෙම සැකකරුගේ ප්‍රකාශය සටහන් කළ අවස්ථාවේ දී දැයි විමසුවා.
ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් " නැහැ ස්වාමීනී. ඊට පෙරත් කරුණු හෙළිවෙලා තිබුණා. සැකකරුගේ ප්‍රකාශයෙන් ඒ බව තවදුරටත් තහවුරු වුණා" යනුවෙන් සඳහන් කළා.
වැඩ දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන සාක්ෂිකරුවන් වන අසේල සංජීව පෙරේරා සහ උචිත අනුරාධ යන අයගේ වලින් සැකකරුගේ මෙම විදේශ සංචාරය රාජකාරීමය සංචාරයක් බවට කරුණු දක්වා තිබෙන බව පෙන්වා දුන්නා.
සැකකරු අධිකරණය මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබෙන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා ඔහු විසින් සිදු කළේ නීතියෙන් තමන්ට හිමිවී තිබෙන ප්‍රතිපාදන උපයෝගී කරගෙන විවිධ අපේක්ෂිත ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමණක් බව සඳහන් කර සිටියා.
නීතිඥවරුන්ගේ උපදෙස් මත ඔහු විම ක්‍රියාව සිදුකර තිබෙන බවත් නීතියේ සඳහන් ප්‍රතිපාදන අනුගමනය කිරීම අධිකරණය මගහැරීමක් වන්නේ කෙසේදැයි මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කළා.
මෙම සංචාරයට සැකකරු සමග ඔහුගේ භාර්යාව පමණක් සහභාගි වී ඇති බව සඳහන් කල ජනාධිපති නීතිඥවරයා මෙම විමර්ශනය ආරම්භ වුණේ මීට වසර දහතුනකට පෙර බවත් එතැන් පටන් මේ දක්වා මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ සංචාරය සම්බන්ධයෙන් අදාළ කොරියානු සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් කළා.
එහිදී සැකකරු ඔහුගේ ඥාතීන් සමඟ විදේශ සංචාරයක් නිරත වී ඇති බවත් එම සංචාරය අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය යටතේ සිදු වූ බවට කරුණු තහවුරු කරගත් බවත් එම නිලධාරින් වැඩිදුරටත් අධිකරණයට සඳහන් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා" මෙම සැකකරු විදේශ සංචාරයක නිරත වී තිබෙන බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වුණා. එම සංචාරයට සහභාගි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශත් සටහන් කරගෙන තිබෙනවා. එම නිසා මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය වන්නේ නෑ" යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළා.
ඉන් අනතුරුව නඩුව යළි ජනවාරි මස 30 වන දා කැඳවීමටද නියම වුණා.
2013 වසරේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට සැකපිට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


