කූට ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය ගොනු කර තිබෙන නඩුව අද යලි විභාගයට ගෙන තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණා. එහිදී මෙම නඩුවේ පැමිණිලිකරුවන සමාජ ක්‍රියාකාරික ඔෂල හේරත් ඇතුළු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 15 වන දක්වා කල් තැබුණා. 2004 වසරේ ඔක්තෝබර් මස 09 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 01 වනදා අතර කාලසීමාව තුළ පානදුර හා කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූට ලෙස මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.