හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දීමට සිදු වන බව කොළඹ ජාතික රෝහල පවසනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් වෛද්‍යවරුන් පරික්ෂා කරන බවයි වාර්තා වුණේ. රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී වීමට හේතුව වැඩි වේලාවක් අධිකරණයේ රැඳී සිටිම බවට වෛද්‍යවරුන් සැක පල කරනවා. එමෙන්ම අධිකරණයෙ විදුලිය විසන්ධි වීම හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය ඉහළ යාමට තවත් හේතුවක් බවටයි පැවසෙන්නේ. ඔහුගේ රෝගී තත්ත්වයන්ට අනුව සාමාන්‍යයෙන් වැඩිපුර ජලය පානය කළයුතු බව වෛද්‍යවරුන් පවසනවා. පසුගිය 22 වනදා පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. එහිදී ඔහු අත්අඩංගුවට පත්වූ පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළා. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනවිට එදින රාත්‍රි 10 පසු වී තිබුණා. ඒ අනුව එදින පුරාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් දිනවල පානය කරන ජලය ප්‍රමාණය මෙන්ම ආහාර අනුභව කිරීම සිදු කර නොමැති බවටයි වෛද්‍යවරුන් සැක පල කරන්නේ. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා එදින රාත්‍රි කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු ඔහු රැඳවියෙකු ලෙස ලියාපදිංචි කිරීමෙන් පසු බන්ධනාගාර වෛද්‍යවරයෙකු පරීක්ෂා කළා. හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු කඩිනමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ යුතු බවට එම වෛද්‍යවරයා නිර්දේශ කර තිබූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ අනුව එදින රාත්‍රියේම හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණ. එහිදී බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලේ 3 වාට්ටුවට ඇතුළත් කිරීමටයි. එහෙත් ඊට බන්ධනාගාර නිලධාරීන් එකග වී නැහැ. ඒ, ඒ වනවිට රැඳවියන් 50කට ආසන්න පිරිසක් එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම හේතුවෙන්. එවැනි තත්ත්වයක් හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ආරක්ෂාව එම වාට්ටුව තුළ ලබා දිය නොහැකි බවයි බන්ධනාගාර නිලධාරීන් වෛද්‍යවරුන් හමුවේ පවසා ඇත්තේ. ඒ අනුව දෙපාර්ශවයේ එකඟතාව මත රනිල් වික්‍රමසිංහ මහතාට වැලිකඩ බන්ධනාගාර රෝහල් ජේලර්වරයාගේ විවේක කාමරය සූදානම් කර දී තිබෙනවා. ඇඳක් තිබුණ ද එම විවේක කාමරයේ ඉඩකඩ සීමිත බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. කෙසේවෙතත් තවදුරටත් ප්‍රතිකාර ලබා දිම සහ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කිරීම සඳහා පසුගිය සෙනසුරාදා දහවල් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. පළමුව සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කැරුණු හිටපු ජනාධිපතිවරයා පසුව දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කෙරුණා. මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරුන් පැවසුවා.
Published