රාජාණ්ඩුවට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු තායිලන්ත අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත්‍රා බැංකොක් අධිකරණයක් විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඔහු දකුණු කොරියානු පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගෙනයි මෙලෙස චෝදනා එල්ල වී තිබුණේ. මෙම චෝදනාව හේතුවෙන් තක්සින් ෂිනවත්‍රාට වසර 05ක සිරදඬුවම් නියම වනු ඇති බවට ද ප්‍රකාශ වී තිබුණා. තායිලන්තයේ නීතිය එහි රාජාණ්ඩුවට අපහාස කිරීම තහනම්. එහෙත් දේශපාලන විචාරකයින් පවසන්නේ එය බොහෝ විට ක්‍රියාකාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා භාවිතා කරන බවයි. අතීතයේදී, එරට හිටපු භූමිබෝල් රජුගේ සුනඛයෙකු පිළිබඳ අපහාසාත්මක අදහස් දැක්වූ පුද්ගලයින්ට නඩු පැවරූ අවස්ථා ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෑතකදී, වජිරලොන්කෝන් රජුගේ ඡායාරූපයක් අසල විවේචනාත්මක බැනරයක් තැබීම සම්බන්ධයෙන් තරුණියකට වසර පහක සිර දඬුවමක් ද නියම වී තිබුණා.