අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙන හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතාට අදාල පැමිණිල්ල යළි මාර්තු මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින සැකකාර උපුල් දෙනිය මහතා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

ඒ අනුව පැමිණිල්ල යළි මාර්තු මස 19 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැරදකරු වී සිරදඬුවම් නියම වී සිටි පුද්ගලයෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ඇප මත මුදා හැර තිබුනා.