ගලේවෙල, මකුළුගස් වැව හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනා අගෝස්තු පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පොලීසිය විසින් සැකකරුවන් දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. කෙසේවෙතත් අසනීප තත්ත්වයෙන් පසුවූ එක් සැකකරුවෙකු දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලීසිය අධිකරණයට වාර්තා කර ඇත්තේ. ගැබ්බර මුවදෙන ඝාතනයට යොදා ගත් ගිනි අවි තුනක්ද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ දින අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගෙන් සහ සිවිල් පුද්ගලයාගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ වහකෝට්ටේ ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මුව දඩයමේ පැමිණ ඇති බවයි. අත්අඩංගුවේ පසුවන එක් සැකකරුවෙකුගේ සහෝදරයෙකු පොලිස් සැරයන්වරයෙකු ලෙස සේවය කරනු ලබනවා. මුව දෙන ඝාතනය කිරීමෙන් පසු රැගෙන යෑම සඳහා සහ ප්රදේශවාසීන් සිද්ධිය දුටු හෙයින් සැකකරු සිය සහෝදර පොලිස් සැරයන්වරයාගේ සහාය පතා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඒ අනුව සහෝදර පොලිස් සැරයන්වරයා තවත් පොලිස් සැරයන්වරයකුගේ සහය ලබාගෙන සහෝදරයා වෙඩි තැබූ මුවදෙන ආසන්නයට ගොස් ඇතැයි වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.
Published