ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය අද පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ ඕමානය අතරයි. කෙසේවෙතත් මෙම තරඟයේ ප්‍රතිඵලය තරඟාවලියේ ඉදිරි තීරණවලට කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැහැ. ඒ, ඉන්දියාව දැනටමත් සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබීම සහ ඕමානය දැනටමත් තරඟාවලියෙන් ඉවතට විසි වී තිබීමයි. මේ අතර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරඟ කාලසටහන ද මේ වන විට එළිදක්වා තිබෙනවා. මෙම වටයේදී එක් කණ්ඩායමක් සෙසු සියලු කණ්ඩායම් සමඟ තරඟ වදිනු ඇති. ඒ අනුව පළමු තරඟය හෙට පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට ඩුබායි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ලොවක් බලා සිටින ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟය පැවැත්වෙන්නේ ලබන ඉරිදායි. ශ්‍රී ලංකාව සහ පකිස්තානය ලබන අඟහරුවාදා තරඟ වදින අතර ඉන්දියාව සහ බංග්ලාදේශය තරඟ වදින්නේ ලබන බදාදායි. බංග්ලාදේශය සහ පකිස්තානය ලබන බ්‍රහස්පතින්දා තරඟ වදින අතර සුපිරි හතර දෙනාගේ වටයේ අවසන් තරඟය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි. අවසන් තරඟය ලබන 28 වන ඉරිදා පැවැත්වෙනවා.