හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබු අතර එය සමූහයේ මේ දක්වා කර ඇති වඩා අභිලාෂකාමී ආයෝජනවලින් එකක් වනවා.

රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමක් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 900 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසුම් කර ඇති මෙම නව පහසුකම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා හේමාස් හි කැපවීම අවධාරණය කර ඇත.

මෙම මුලපිරීම සමූහයේ ඉදිරි වර්ධන උපාය මාර්ගයේ ප්‍රධාන අංගයක් වන අතර එය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ අනාගතයට නව අරුතක්” යන තේමාව යටතේ පැවති මෙම අවස්ථාවට ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් උපදේශකයින් අධ්‍යක්ෂ මණ්ඩලය සහ හේමාස් සමූහ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයින් ද සහභාගී වි තිබෙනවා.

මෙම ව්‍යාප්තිය සමග හේමාස් කැපිටල් රෝහල අංගසම්පූර්ණ තෘතීයික සත්කාර පහසුකමක් බවට පරිවර්තනය වනු ඇති බවටයි වාර්තා වන්නේ.

එසේම නේවාසික ඇඳන් 150 දක්වා එහි ධාරිතාව දෙගුණ කරන අතර නවීන හදිසි සත්කාර ඒකක ශල්‍යාගාර සහ විශේෂිත විශේෂඥ සේවා සපයන මධ්‍යස්ථාන හඳුන්වා දීම මෙහි අභිලාෂයයි.

අති නවීන හෘද සත්කාර කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන මෙම නව ව්‍යාප්තිය හේමාස් හි කැත් ලැබ් සහ හෘද රෝග ප්‍රතිකාර පුළුල් කිරීමේ අභිප්‍රාය ශක්ත්මත් කරමින් හෘද ප්‍රතිකාර සඳහා විශ්වාසනීය ආයතනයක් ලෙස එහි විශිෂ්ටත්වය සහතික කරයි.