රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මීගමුව බන්ධනාගාරයේ රදවා සිටිනවා. ඔහුට විශේෂ ආරක්‍ෂාවක් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා. ඒ අනුව ඔහු එම බන්ධනාගාරයේ ‘ඒ වන්’ වාට්ටුවේ තවත් රැදවියන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් සමග රැඳවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. බන්ධනාගාර වෛද්‍යවරයෙකුද ඔහු පරීක්‍ෂා කර ඇති අතර එහිදි වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවයි. ඒ අනුව ඔහු ‘ඒ වන්’ වාට්ටුවේ රදවා තිබෙනවා. කෙසේවෙතත් ඔහුට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දි නොමැති බවද බන්ධනාගාර ආරංචි පැවසුවා. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට බන්ධනාගාරයෙන් පැදුරක් පමණක් ලබාදි තිබෙනවා. සෙසු සැකකරුවන්ටද හිමි වන වරප්‍රසාදයක් වන පිටතින් ආහාර ලබාගැනීමට ඔහුද මීගමුව බන්ධනාගාරයෙන් ඉල්ලිමක් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ සුවදුක් විමසිම සදහා ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙකු මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සුවදුක් විමසීමට පැමිණෙන පිටස්තර පුද්ගලයන් සීමා කරන්නැයි ඔහුගේ බිරිද විසින් මීගමුව බන්ධනාගාරයෙන් ඉල්ලිමක් කර ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව නිමල් ලන්සා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සුවදුක් විමසීම සදහා තමන්ට සහ තවත් නම් කළ දෙදෙනෙකුට පමණක් අවස්ථාව සලසා දෙන ලෙසට ඇය විසින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වුණා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන්ද විමසිමක් සිදුකර තීරණයක් ගැනීමටයි මීගමුව බන්ධනාගාරය සූදානම් වන්නේ. හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මතයි. ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔහු පසුගිය 29 වනදා කොච්චිකඩේ පොලීසිය වෙත භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Published