වෙඩි වැදීම් හේතුවෙන් තුවාල සිදු වූ වන අලි 13 දෙනෙකු මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

වනජීවී සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා කියා සිටියේ ඉන් වැඩිම වන අලීන් සංඛ්‍යාවක් සිටින්නේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ බවයි.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ වන අලීන්ට වැඩිම වෙඩි වැදීම් සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ගෘහස්තව නිෂ්පාදනය කළ ගිනි අවිවලින් බවයි.

අනවසර විදුලි වැට හෝ විදුලි සැර වැද්දවීමෙන් වන අලින්ට හානි කිරීම වෙඩි වැදීම්වලට වඩා ඉහළ බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

මේ වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි වැදීම් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති වන අලි ප්‍රතිශතය සියයට 17ක්.

හක්කපටස් හේතුවෙන් මියගිය වන අලි ප්‍රතිශතය සියයට 10ක් වනවා.

2023 වසරේ අලි මරණවලින් සියයට 20ක් සහ 2024 වසරේ අලි මරණවලින් සියයට 24ක් සිදුව ඇත්තේ වෙඩි වැදීම්වලින්.