ඇමෙරිකානු සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු ඉරාන උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අවමංගල්‍ය උත්සවය ඉරානයේ ටෙහෙරාන් නුවරදී මේ වන විට සිදු කෙරෙමින් තිබෙනවා.
මේ සඳහා මිලියන සංඛ්‍යාත පිරිසක් එහි රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ප්‍රකාශිත සැලසුම් වලට අනුව අවමංගල්‍ය උත්සවය අවසාන කෙරෙන්නේ අයතුල්ලා අලි කමේනිගේ දේහය ලබන බ්‍රහස්පතින්දා දින ඔහු උපන්ගම වන මෂාද් හි ඉමාම් රේසා සිද්ධස්ථානයේදී මිහිදන් කිරීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කතා නායක රිස්වී සාලි සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාවූෆ් හකීම් යන මහත්වරුන්ද මේ සඳහා සහභාගී වී සිටිනවා.
ඔවුන්ට ඇතුළුව රටවල් සියයකට වැඩි ගණනක නියෝජිතයන් අවසන් කටයුතු සඳහා සහභාගි වී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.
ඉරාන උත්තරීතර නායකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ඝාතනය කෙරුණු අමෙරිකානු ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරය සිදු කෙරුණේ ඉකූත් පෙබරවාරි මස 28 වැනිදායි.
මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වන විට අයතුල්ලා අලි කමේනි 86 වැනි වියේ පසු වුණා.
මෙම මරණයෙන් පුරප්පාඩු වූ ඉරාන උත්තරීතර නායකත්වයට පසුව තෝරා ගැනුනේ අයතුල්ලා අලි කමේනිගේ පුත්‍රයෙකු වන මොජ්තබා කමේනියි.
දැන් ඔහුගේ නායකත්වය ශක්තිමත් කිරීම සඳහා අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යයද ඉරානය විසින් යොදා ගැනෙමින් ඇතැයි දේශපාලන විචාරකයන් පවසනවා.
අවසන් කටයුතු මෙතරම් කල් පසුවට තබා රාජකීය විලාශයකින් සංවිධාන කර ඇත්තේ ද ඒ අනුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ටෙහෙරාන් නුවර ග්‍රෑන්ඩ් මොසල්ලා පරිශ්‍රයේ තැන්පත් කර ඇති කමේනිගේ දේහය දැකබලා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිස් ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව දැඩි සටන් පාඨ කියමින් සිටිනවා.
උත්තරීතර නායකයාගේ මරණයට පළිගත යුතු බවටයි ඔවුන් අවධාරණය කරන්නේ.
තවත් විශේෂත්වයක් වන්නේ ඝාතනය කෙරුණු ඉරාන උත්තරීතර නායකයාගේ අවසන් කටයුතු ඇමෙරිකාවේ 250 වැනි නිදහස් දින සංවත්සරය යෙදී තිබූ ඊයේ දින ආරම්භ කිරීමයි.
මෙයද මනාව සැලසුම් කළ උපක්රමික පියවරක් විය හැකි බව දේශපාලන විචාරකයන් පවසනවා.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අවමංගල්‍ය කටයුතු සඳහා ඉරානයට සතියක කාලයක් ලබා දී ඇති බවයි.




