සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන කල්ප ගුණරත්න මහතාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් ජනවාරි මස 26 වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ එම පැමිණිල්ලද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරාගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල සමථයට පත් වී ඇති බවත් ඒ අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

එම අවස්ථාවේදී පොලිසිය විසින් ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල සමතයට පත් වී තිබෙන්නේ කෙසේද? යන කරුණු අදාළ වාර්තාවට ඇතුළත් වී නොමැති බව පැවසුවා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී මේ වන විට විශ්‍රාම ගොස් සිටින කුරුදුවත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව ඉල්ලා එම පැමිණිල්ල සමථයට පත්වී තිබෙන බව කියා සිටියා.

ඒ අනුව තම සේවා දායකයාට එරෙහිව මෙම අධිකරණය හමුවේ පවතින නඩුකරයද අවසන් කළ හැකි බවයි ජනධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල යළි ජනවාරි මස 26 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රත්වරයා එදින මේ සම්බන්ධයෙන් විධිමත්ව ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් කුරුඳුවත්ත පොලිසියට දැනුම් දුන්නා.

මෑතකදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැති අවස්ථාවේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතාට විරුද්ධව කුරුදු වත්ත පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.