පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පිහිටි ඇල්ල වැවේ දිය නෑමට ගිය සිව්දෙනෙකු, වැවේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 13ක දැරියක්. දැරියගේ මවද දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අරලගංවිල පොලිසිය පැවසුවේ.

දියේ ගිලී ගිය දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා වැවෙන් ගොඩගන්නා අවස්ථාවේදී මියගොස් සිටි බවද අරලගංවිල පොලිසිය පැවසුවා.

ජීවිතක්‍ෂයට පත්වූ මෙම පුද්ගලයින් රත්මලාන, බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අරලගංවිල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරුව ඔවුන් සිව්දෙනා ඇල්ල වැවේ දිය නෑමට ගොස් ඇති අතර, පිරිමි පුද්ගලයා පළමුව දියේ ගිලී තිබෙනවා.

ඔහුව බේරාගැනීමට දැරිය සහ කාන්තාවන් දෙදෙනා වැවට පැන ඇති අතර එම අවස්ථාවේ ඔවුන් තිදෙනාද දියේ ගිලී ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අරලගංවිල පොලිසිය මගින් සිදුකරනු ලබනවා.