හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වා කල් තබන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළා යැයි එල්ලවන චෝදනාවලට අදාළවයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

එහිදී ස.තො.ස ආයතනයේ වැටුප් නිලධාරී මෙරින්නගේ කොස්තා මහතාගෙන්, විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදුකළා.

අනතුරුව විනිසුරු මඩුල්ල නියෝග කළේ නඩුවෙහි වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වා කල් තබන අතර එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි.