ඉකුත් රජය සමයේ යුක්තිය මෙහෙයුම අතරතුර දෙහිවල ප්‍රදේශයේ පිහිටි “සෝල් බීච්” හෝටලය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම හෝටලයේ හිමිකරුවන් සහ සේවකයින් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සම් ජනවාරි මස 26 වනදා විභාගයට ගැනීමට දින නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට පෙර මෙම නඩුකර සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ගොනු කිරීමට පියවර ගන්න ලෙස එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට නියෝගයක් කලා.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් යුක්තිය මෙහෙයුම සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරින් සීයයක් පමණ පැමිණ මෙම හෝටලයේ සෝදිසිකර පසුව බැකෝ යන්ත්‍ර යොදා කඩා බිද දැමීමට කටයුතු කළ බවට චෝදනා කළා.

මෙම හෝටලයට යාබදව තවත් හෝටල් ගණනාවක් ඉදිකර තිබෙන බවත් එවැනි හෝටල් කිසිවක් කඩා දැමිමට වග උත්තර කරුවන් කටයුතු නොකළ බවත් මේ ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් හිතාමතාම පෙත්සම්කරුවන් අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින්ම එම ක්‍රියාව සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි තවත් ජනාධිපති නීතිඥ වරයෙකු වන සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ සාමාන්‍යයෙන් අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට පෙර නොතීසි නිකුත් කළ යුතු අතර අභියාචනයකට කල් ලබා දිය යුතු බවත් එවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකොට එක එල්ලේ කඩාබිඳ දැමීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා කරුණු දක්වමින් මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී වෙරළ සරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉදිකිරීම සඳහා අනුමැතිය දෙමින් නිකුත් කල බව කියන කියන ව්‍යාජ ලේඛනයක් හමුවූ බව සඳහන් කළා.

පසුව එය නීති විරෝධී ඉදිකිරීමක් වන හෙයින් ඊට අදාල නොතීසි මෙම ස්ථානයේ අලවා දින හතක කාලයක් ලබාදීමෙන් පසුව නීත්‍යානුකූල ලෙස අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළ බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ උත්තරී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.