තයිවාන ජනාධිපතිවරයාගේ ඇමෙරිකාවේ වෙසෙන පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු රහසිගතව චීන රජය වෙත ලබාදීමේ චෝදනාව මත කැලිෆෝනියා දේපළ වෙළඳාම් සමාගමක නියෝජිතවරියක FBI නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය චීනය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ෆෙඩරල් නිලධාරීහු ප්රකාශ කළහ.
ඇමෙරිකාව සහ චීනය අතර රාජ්යතාන්ත්රික හා ආර්ථික නොසන්සුන්තාව ඉහළ ගොස් ඇති මොහොතක මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි. ස්වයං පාලනයක් සහිත තයිවානය තම භූමියේ කොටසක් ලෙස චීනය විසින් අඛණ්ඩව පවසයි.
එෆ්.බී.අයි. ආයතනය සහ ෆෙඩරල් අභිචෝදකයින් චෝදනා කරන්නේ, අර්වින් හි පදිංචි 34 හැවිරිදි වෙනිං ෂැං නමැති මෙම කාන්තාව තායිවාන ජනාධිපතිවරයාගේ පුත්රයාගේ නිවස නිරීක්ෂණය කරමින් එහි ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ඔහුගේ වාහනවල අංක තහඩු පිළිබඳ තොරතුරු චීන රාජ්ය නිලධාරියෙකු වෙත යවා ඇති බවයි.
ෆෙඩරල් අපරාධ පැමිණිල්ලේ අදාළ පුද්ගලයාගේ නම සෘජුව සඳහන් කර නොමැති වුවද, එෆ්.බී.අයි. ආයතනයේ X ගිණුම මගින් තහවුරු කර ඇත්තේ එම ඉලක්කය තයිවාන ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් ටිං-යූ ලායි බවයි. ඔහු සියැටල් හි ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් පදිංචිව සිටියි.
'හෙදර්' යන නමින්ද පෙනී සිටි ඇමෙරිකානු ප්රජා අයිතිය සහිත මෙම කාන්තාව, චීනයේ ලියාපදිංචි නොවූ ඔත්තුකාරියක ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත ලොස් ඇන්ජලීස් ජාත්යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව සහකාර ෆෙඩරල් අභිචෝදක බිල් එසයිලි ප්රකාශ කළේය.
ඇය වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයෙකු සිටීද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඇය ලොස් ඇන්ජලීස් හි ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



