මෙරට තුළ සයිබර් අපරාධ සිදු කිරීම සදහා යොදා ගැනීමට අවශ්‍ය යැයි සැක කෙරෙන , රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන සහ ඒවා සදහා භාවිතා කෙරෙන බැටරි තොගයක් , නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ද වන බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවේ.
ඔවුන් චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එහිදී ඔවුන් තිදෙනා අතරින් පළමුවෙන්ම කටුනායක ගුවන් තොටුපොළ " හරිත මාවත " වෙත පිවිසි චීන ජාතික පිරිමි ගුවන් මගියා විසින්, ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ලබා දෙන පොලිතීන් බෑග් අතර, රැගෙන පැමිණි කලු පැහැති
" ටියුලිප් " වර්ගයයේ පොලිතීන් බෑගය පිළිබද සැක සිතූ රේගු නිලධාරීන් , එය පරීක්ෂා කිරීමේදී , ටොෆී , චොකලට් අතර සගවා ගෙන තිබූ, මෙම ජංගම දුරකථන තොගයෙන් පළමු කොටසක් සොයා ගෙන තිබෙනවා.
ඉන්පසුව ඔහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී , ඔහු ඇද සිටි ඇදුමට යටින් , විශේෂයෙන් සකස් කළ ජැකට්ටවක් තුළ ද , ඔහුට පසුපසින් පැමිණි චීන ජාතික කාන්තාව පැළද සිටි පාවහන්වල මේස් තුළ සහ අනෙක් චීන ජාතික ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ ද , ජංගම දුරකථන 87 ක් සහ ඒවාට යොදන බැටරි 140 ක් සගවා ගෙන තිබු බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




