නේපාලයේ රට තුළ හට ගෙන ඇති අරගලකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අද දින උදෑසන සිට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා

ඒ අනුව අද දින උදෑසන 08.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 ගුවන් ගමන අවලංගු කර තිබෙන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටියේ.

මෙම තත්වය යටතේ නේපාලයේ සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙම ගුවන් ගමන් පිළිබද උනන්දුවක් දක්වන පිරිස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිත ආයතනයෙන් විමසීමක් කරන ලෙස දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.