දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති වෑන්ග් ඩොමින්ග් මහතා පවසනවා.
මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ මෙම දරුණු ව්‍යසනය පිළිබඳ චීන රජයත්, ජනතාවත් මහත් සේ කණගාටුවට පත්වන බව ප්‍රකාශ කළ උප සභාපතිවරයා, ආපදාවට පත් සහෝදර ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට චීන රජය පළමු අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ බවත් මෙහිදී සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවද චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපතිවරයා මෙහිදී කියා සිටියා.
මෙම ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ චීන නියෝජිත පිරිස වෙත මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර සපයා දෙමින් චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හෘදයාංගම සහාය කෘතවේදීව අගය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
විශේෂයෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන රජයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ඉල්ලා සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වය සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා චීන නියෝජිත පිරිස දැනුවත් කළා.
රජයේ මූලික පියවර වූයේ ආපදාවට පත් ජනතාව මුදා ගැනීම බවත්, ඉන්පසුව ඔවුන් ඉතා සුරක්ෂිත ස්ථානවලට යොමු කර ආහාර, සෞඛ්‍ය ආදී මූලික පහසුකම් සපුරා දීමට පියවර ගත් බවත් පැවසු ජනාධිපතිවරයා මේ වන විට ඔවුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් සැලැසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරමින් සිටින බවත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.





