මැගසින් බන්ධනාගාරය තුළදි රැදවියෙකු මියයාමේ සිද්ධියට අදාළව බන්ධනාගාර ජේලර්වරයෙකු හා නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බොරැල්ල පොලිස් ස්ථානය විසින්.
මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු අතර ඇති වූ පොරබැදීමකින් අනතුරුව තුවාල ලැබූ එම තිදෙනාම වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදි එක් රැදවියෙකු මියගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
එලෙස මියගොස් ඇත්තේ කොළඹ 14, නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 37 ක් වූ පුද්ගලයෙක්.
ඔහු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම රැදවියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණය යටතේ බොරැල්ල පොලීසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදු කෙරෙනවා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන්. එම සිද්ධියට අදාළ අතුරු වාර්තාවක් අද දිනයේ එම නිලධාරියා විසින් බන්ධනාගාර මූලස්ථානය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.




