ඇල්ල ප්‍රදේශයේ සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට විවිධ අපරාධ සිදු කල පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය පෙම්වතා සමග ඇල්ල, ආරුක්කු 9 පාලම නැරඹීම සදහා පිවිසෙන පාලු මාර්ගයේ ගමන් කරමින් සිටි 18 හැවිරිදි තරුණියක් පොලීසියෙන් යැයි පවසමින් රවටා කැළයට රැගෙන ගොස් දූෂණය කළ බවටයි එම එක් සැකකරුවෙකුට චෝදනා එල්ලවී තිබෙන්නේ.

පසුගිය අප්‍රේල් 7 වන දින බදුල්ල ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශයට පැමිණි බාල වයස්කාර පෙම්වතුන් යුවල දෙකක් පාලු මාර්ගයකදී පොලීසියෙන් බව පවසමින් එම ගැහැණු ළමුන් දෙදෙනා කැළයට රැගෙන ගොස් ඔවුන් සතු රුපියල් ලක්ෂ 5කට ආසන්න රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකථන පැහැරගත් බවටද එම සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශණ සිදු කල ඇල්ල පොලීසියේ නිළධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.