මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව රාත්‍රී 07.00 ට යෙදෙන සුභ මොහොතින් ශ්‍රී දළදා මාළිගාව අභියසින් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අලි ඇතුන් රැසකගේ සහ උඩරට, පහතරට, සබරගමු නැටුම් ශිල්පීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් දේශීය මෙන්ම විදේශීකයින් විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටිනවා.

ජනතාවගේ ආරක්ෂාව සහ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

අද රාත්‍රී වීථි සංචාරය කෙරෙන අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව, හෙට දින ගැටඹේ තොටේදී පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් සහ දේවදානයෙන් පසුව මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමා වීමට නියමිතයි.