ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.
‘බී’ කාණ්ඩයේ තරඟයක් වන මෙම තරඟය එම කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් තුනක, මෙම තරඟාවලිය තුළ ඉරණම විසඳන තරඟයක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් ගැටලුවකින් තොරව සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වනවා.
‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ප්‍රසාද ලකුණු හතර බැගින් ලබා සිටින අතර ඇෆ්ගනිස්ථානය ලබා සිටින්නේ ප්‍රසාද ලකුණු දෙකක් පමණයි.
මෙම කාණ්ඩයේ ඉතිරි වී ඇති එකම තරඟය වන මෙම තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ලැබුවහොත් කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු හතර බැගින් සම තත්ත්වයකට පත් වනවා.
එසේ වුවහොත් සුපිරි හතර දෙනාගේ වටයට පිවිසෙන කණ්ඩායම් දෙක දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තීරණය වනු ඇති.
දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයේත්, බංග්ලාදේශ කණ්ඩාම තුන්වන ස්ථානයේත් පසුවනවා.
ඒ අනුව බංග්ලාදේශය මෙම තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයට තේරීමට නම් අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයගත යුතුයි.
අද පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ පවතින සූදානම සම්බන්ධයෙන් දසුන් ශානක මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
පසුගිය තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් දක්ෂතා අතරට නොපැමිණීම සම්බන්ධයෙන් යොමු කෙරුණු ප්‍රශ්නයකට ද දසුන් ශානක මෙහිදී පිළිතුරු ලබා දුන්නා.




