රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින්, කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා.
ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට කොළඹදී එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සමගාමීව කටයුතු කිරීම සඳහා මෙවැනි ඩිජිටල් පරිවර්තනයන් අත්‍යවශ්‍ය වන බවයි.
කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ වේගවත් වන අතර ආනයන හා අපනයන සමාගම්වලට විශාල පහසුවක් සැලසෙන බවද ඔහු පෙන්වා දුන්නා.
විශේෂයෙන් ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදු කෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මඟින් හඳුනා ගනු ලබන බැවින් කිසිදු ආකාරයක වංචා දූෂණයකට අවස්ථාව නොලැබෙන බවද ජනාධිපති ලේකම්වරයා එහිදී කියා සිටියා.




